රාජකීය නාවික පුහුණුව: යෝෂිත සහ වසන්ත තමන් නිවැරදි බව අධිකරණය හමුවේ කියති; අද සිදුවූයේ කුමක් ද?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 2

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර තිබෙන දූෂණ චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අද (නොවැ: 23) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.

ඔවුන්ට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ කැඳවිණි.

එම අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ චෝදනා විවෘත අධිකරණයේ විත්තිකරුවන්ට කියවා දීම සිදුකෙරිණි.

එම චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.

චෝදනා මොනවා ද?

ඉන් අනතුරුව නඩු විභාගය සඳහා සාක්ෂිකරුවන් කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කළ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන ශවීන්ද්‍ර ප්‍රනාන්දු සහ සම්පත් මෙන්ඩිස් ඊට අදාළව විරෝධතා මතු කළහ.

ඔවුන් සඳහන් කළේ, මෙම නඩුවට සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීමට යෝජිත ලේඛන අඩංගු ගොනුවල පිටපත් තමන් වෙත ලැබී නොමැති බව ය.

අදාළ ලේඛන මීළඟ නඩු දිනයට පෙර විත්තිය වෙත ලබා දෙන ලෙස අධිකරණයේ රෙජිස්ටර්වරයාට නියම කළ විනිසුරුවරයා සාක්ෂි කැඳවීම ආරම්භ කරන ලෙස නියම කළේ ය.

ඒ අනුව 2006 වසරේ කොළඹ නාවික හමුදා මූලස්ථානයේ සේවය කළ විශ්‍රාමික නාවික කොමදෝරු රංජිත් ප්‍රේමරත්නගෙන් සාක්ෂි සටහන් කර ගැනිණි.

ඉන් අනතුරුව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 10 වන දා දක්වා කල් තැබිණි.

2006 වසරේ නිසි සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික පුහුණු විද්‍යාලයේ පාඨමාලාවකට යොමු කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කරනු ලැබී ය.