ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
SLAS ඇතුළු රජයේ විධායක ශ්‍රේණියේ පුරප්පාඩු 974කට අයැදුම්පත් කැඳවයි: ඔබ දැනගත යුතු සියලු කරුණු
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
ශ්‍රී ලංකාවේ දීපව්‍යාප්ත සේවාවන් අටක III ශ්‍රේණියේ (විධායක) පවතින පුරප්පාඩු 974ක් සඳහා විවෘත පදනම මත බඳවා ගැනීමේ පොදු තරග විභාගයට අයැදුම්පත් කැඳවා තිබේ.
2026 නොවැම්බර් 13 වන දිනැති අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ, රාජ්‍ය සේවා කොමිෂන් සභාව යි.
පුරප්පාඩු පවතින ක්ෂේත්‍ර සහ පුරප්පාඩු ගණන
මෙම තරග විභාගය හරහා පහත සඳහන් සේවාවන් සඳහා නිලධාරීන් බඳවා ගැනීමට නියමිත ය.
- ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය (SLEngS): 201 (සිවිල් 149, යාන්ත්‍රික 25, විදුලි 14, භූ සම්පත් 13)
- ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය (SLEAS): 168
- ශ්‍රී ලංකා පරිපාලන සේවය (SLAS): 153
- ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවය (SLAgS): 135 (කෘෂි පර්යේෂණ 66, කෘෂි සංවර්ධන 61, කෘෂි ආර්ථික විද්‍යා 08)
- ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය (SLSS): 128
- ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය (SLACS): 105
- ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය (SLPS): 74
- ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවය (SLArcS): 10
මූලික සුදුසුකම් සහ වයස් සීමාව
- පුරවැසිභාවය: අයැදුම්කරුවන් ශ්‍රී ලාංකික පුරවැසියන් විය යුතු ය.
- අධ්‍යාපන සුදුසුකම්: ශ්‍රී ලංකා පරිපාලන සේවය සහ අධ්‍යාපන පරිපාලන සේවය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් ඕනෑ ම උපාධියක් ප්‍රමාණවත් වන අතර කෘෂිකාර්මික, ක්‍රමසම්පාදන, ගණකාධිකාරී, ඉංජිනේරු, වාස්තු විද්‍යාඥ සහ විද්‍යාත්මක සේවාවන් සඳහා අදාළ ක්ෂේත්රයට සම්බන්ධ විශේෂ උපාධි හෝ වෘත්තීය සුදුසුකම් සපුරා තිබිය යුතු ය.
- වයස් සීමාව: 2026 නොවැම්බර් 13 වන දිනට වයස අවුරුදු 22ට නොඅඩු සහ අවුරුදු 35ට නොවැඩි විය යුතු ය. කෙසේ වෙතත්, ඉංජිනේරු සහ වාස්තු විද්‍යාඥ සේවාවන් සඳහා අවම වයස් සීමාව අවුරුදු 21ක් වන අතර, දැනට රාජ්‍ය හෝ පළාත් රාජ්‍ය සේවයේ ස්ථිර තනතුරු දරන නිලධාරීන් සඳහා ඉංජිනේරු සේවයේ උපරිම වයස් සීමාව අවුරුදු 45ක් දක්වා ලිහිල් කර තිබේ.
- සීමාවන්: ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය හැර අනෙකුත් සේවාවන් සඳහා කිසිදු ආගමක පැවිදිවරයක් දරන අයෙකුට අයැදුම් කළ නොහැක.
වැටුප් පරිමාණය
අංක 10/2025 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව මෙම තනතුරු සඳහා SL-1-2025 වැටුප් පරිමාණය යටතේ රුපියල් 82,150ක මාසික මූලික වැටුපක් සහ රජය මගින් ගෙවනු ලබන වෙනත් දීමනා හිමි වේ.
මෙම තනතුරු ස්ථිර වන අතර විශ්‍රාම වැටුප් සහිත ය.
විභාගය පැවැත්වෙන ආකාරය
ඊට අදාළ තරග විභාගය 2027 පෙබරවාරි මාසයේදී දිවයිනේ සියලු ම පළාත්වල ප්‍රධාන නගරවලදී පැවැත්වීමට නියමිත ය.
විභාගය කොටස් දෙකකින් සමන්විත වේ.
පළමු කොටස (පොදු කොටස) බුද්ධි පරීක්ෂණය සහ අවබෝධය යන ප්‍රශ්න පත්‍ර දෙකකින් යුක්ත වන අතර, ඉන් සමත් වන (එක් එක් ප්‍රශ්න පත්‍රයට 40% හෝ ඊට වැඩි) අයැදුම්කරුවන් පමණක් තමන් අයැදුම් කළ සේවාවන්ට අදාළ දෙවන කොටස සඳහා කැඳවනු ලැබේ.
කෙසේ වෙතත්, වාස්තු විද්‍යාඥ සහ විද්‍යාත්මක සේවාවන් සඳහා පළමු කොටස පමණක් අදාළ වන අතර, ඉංජිනේරු සේවය සඳහා පළමු කොටසේ බුද්ධි පරීක්ෂණය ප්‍රශ්න පත්‍රය පමණක් අදාළ වේ.
පළමු කොටස (පොදු කොටස)
ප්‍රශ්න පත්‍ර:
- බුද්ධි පරීක්ෂණය (කාලය: පැය 1 1/2)
- අවබෝධය (කාලය: පැය 02)
ලකුණු:
එක් ප්‍රශ්න පත්‍රයක උපරිම ලකුණු 100ක් වන අතර, සමත් වීමට ලැබිය යුතු අවම ලකුණු සංඛ්‍යාව 40කි.
දෙවන කොටස (සේවාවට අදාළ වන කොටස)
දෙවන කොටස (අදාළ සේවාවට විශේෂ වන කොටස) සඳහා සෑම ප්‍රශ්න පත්රයකට ම උපරිම ලකුණු 100ක් හිමි වන අතර සමත් වීමට අවම ලකුණු 40ක් ලබා ගත යුතු ය. ඒ ඒ සේවාවන්ට අදාළ ප්‍රශ්න පත්‍ර සහ කාලය පහත පරිදි වේ:
- ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය: සාමාන්‍ය දැනීම (පැය 01) සහ විශ්ලේෂණාත්මක අධ්‍යයනය (පැය 1 1/2) යන ප්‍රශ්න පත්‍ර දෙකකින් සමන්විත වේ.
- ශ්‍රී ලංකා පරිපාලන සේවය: සමාජ, ආර්ථික හා දේශපාලන ප්රවණතා (පැය 03), කළමනාකරණ අභියෝග්‍යතාව (පැය 03) සහ නිර්මාණාත්මක, විශ්ලේෂණාත්මක හා සන්නිවේදන කුසලතා (පැය 03) යන ප්‍රශ්න පත්‍ර තුනෙන් සමන්විත වේ.
- ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවය: අදාළ ධාරාව (කෘෂි පර්යේෂණ, කෘෂි සංවර්ධන හෝ කෘෂි ආර්ථික විද්‍යා) අනුව පැය 02ක කාලයක් හිමි විෂයානුබද්ධ දැනුම මැන බැලීමේ ප්‍රශ්න පත්රයකට පෙනී සිටිය යුතු ය.
- ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය: පැය 03ක කාලයක් හිමි සාමාන්‍ය සම්ප්‍රජානනය ප්‍රශ්න පත්‍රයකින් සමන්විත වේ.
- ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය: මූල්‍ය හා කළමනාකරණ ගිණුම්කරණය (පැය 03) සහ උසස් විගණනය හා ආර්ථික විශ්ලේෂණය (පැය 03) යන ප්‍රශ්න පත්‍ර දෙකෙන් සමන්විත වේ.
අවශ්‍ය සුදුසුකම් තිබේ නම්, ඔබට මෙම සේවාවන් කිහිපයකට හෝ සියල්ලට ම එකවර අයැදුම් කළ හැකි ය. විභාගයේදී ඔබට පෙනී සිටීමට අවස්ථාව ලැබෙන්නේ ඔබ අයැදුම්පත පුරවන විට කැමැත්ත (මනාපය) සටහන් කළ සේවාවන්ට අදාළ ප්‍රශ්න පත්‍ර සඳහා පමණි.
සම්මුඛ පරීක්ෂණය
ලිඛිත විභාගයේ තමන්ට අදාළ සියලු ම ප්‍රශ්න පත්‍ර සඳහා පෙනී සිට, ඒ සෑම ප්‍රශ්න පත්‍රයකින් ම 40%ක් හෝ ඊට වැඩි ලකුණු ලබා ගත් අපේක්ෂකයෝ සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම් ලබති.
ඔවුන් ලබාගත් ලකුණු කුසලතා අනුපිළිවෙළ අනුව, අදාළ සේවාව අනුව සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයකට සහ/හෝ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයකට කැඳවනු ලැබේ.
සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය පත්කිරීම් බලධරයා තීරණය කරනු ඇත.
අයැදුම් කිරීමේ ක්‍රියාවලිය සහ අවසන් දිනය
- අයැදුම්පත් යොමු කිරීම: ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව පමණක් අයැදුම්පත් ඉදිරිපත් කළ යුතු ය.
- කාලසීමාව: 2026 නොවැම්බර් 16 වන දින පෙරවරු 9.00 සිට 2026 දෙසැම්බර් 11 වැනි දින පස්වරු 9.00 දක්වා අයැදුම්පත් භාර ගැනේ.
- භාෂාව සහ මනාපය: අයැදුම්පත ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සම්පූර්ණ කළ යුතු ය. සුදුසුකම් සපුරා ඇත්නම් අයැදුම්කරුවෙකුට සේවාවන් කිහිපයකට හෝ සියල්ලට ම අයැදුම් කළ හැකි අතර, අයැදුම්පත ඉදිරිපත් කිරීමේදී සටහන් කරන මනාප අනුපිළිවෙළ සහ විභාග මාධ්‍යය (සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි) පසුව කිසිදු හේතුවක් මත වෙනස් කළ නොහැක.
- විභාග ගාස්තු: විභාගයේ පළමු කොටස (පොදු කොටස) සඳහා විභාග ගාස්තුව රුපියල් 1,000ක් වන අතර, එය මාර්ගගත පද්ධතිය හරහා ණයපත් (Credit Card) හෝ ඉන්ටර්නෙට් ගෙවීම් පහසුකම් සහිත හරපත් (Debit Card) මගින් පමණක් ගෙවිය යුතු ය.