ඉඩම් අහිමි වූ කිලිනොච්චි වැසියෝ උද්ඝෝෂණයක

'ප්‍රශනය විසඳන්න එක්සත් ජාතීන් මැදිහත් වෙන්න ඉඩ තියෙනවා'
ඡායාරූප ශීර්ෂ වැකිය, 'ප්‍රශනය විසඳන්න එක්සත් ජාතීන් මැදිහත් වෙන්න ඉඩ තියෙනවා'
Published

යුද හමුදාව විසින් අත් පත් කර ගෙන සිටින ඉඩම් ආපසු ලබා දෙන මෙන් ඉල්ලා සිටිමින් දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයෝ කිලිනොච්චිය දිසාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව සිටියහ.

දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් සිකුරාදා සංවිධානය කර තිබූ උද්ඝෝෂණයට දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයකම සහයෝගය ලැබී තිබුණි.

යුද හමුදාව විසින් අත් පත් කරගෙන සිටින කිලිනොච්චි වැසියන්ගෙන් ඉඩම් අක්කර එකසිය පනහක් පමණ ආපසු ලබා දෙන ලෙසත්, යුද්ධයෙන් පීඩාවට පත්ව මෙතෙක් යළි පදිංචි නොකළ කිලිනොච්චි වැසියන් වහාම යළි පදිංචි කරණ ලෙසත් ඉල්ලමින් මෙම උද්ඝෝෂණය දියත් කළ බවයි, දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්කේ සිවාජිලිංගම් සංදේශයට කියා සිටියේ.

මෙවැනි උද්ඝෝෂණ පැවැත්වීමෙන් ප්‍රයෝජනයක් තිබේදැයි විමසූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා පැවසුවේ, ශ්‍රී ලංකාවේ යුද හමුදාව සහ රජය සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගන්නා බව මෙම උද්ඝෝෂණ හේතුවෙන් මේ වන විට මුළු ලෝකයම දන්නා බවයි.

ලොව බොහෝ රටවල් මේ පිළිබඳව කරුණු දැක්වීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ ප්‍රශ්නයට මැදිහත් වීමට ඉඩ ඇති බවට දැඩි විශ්වාසයක් ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

කිළිනොච්චියේ සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් යුධ හමුදාව සහ රජය විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන තිබීම නිසා යුද්ධයෙන් පීඩාවට පත් වූ කිළිනොච්චියේ වැසියන් යළි පදිංචි කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බව, දෙමළ ජාතික ජනතා පෙරමුණේ ලේකම් ගජෙන්ද්‍රන් සංදේශයට පැවසීය.

තමන්ට අයත් ඉඩම් වලින් යුධ හමුදාව ඉවත් කොට දෙන මෙන් උද්ඝෝෂණ කරුවන් විසින් ජනාධිපතිවරයාට ලියන ලද ලිපියක් කිළිනොච්චියේ දිසාපතිවරයා ඇතුළු රජයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.