වායුගෝලය කැළඹෙයි: ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කීපයකට තද වැසි

Meteorology Department - Sri Lanka
Published

ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද දිනයේ සිට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට අධික වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යභාර කාලගුණ විද්‍යාඥයා බීබීසී සිංහල සේවයට පැවසුවේ, "මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල ද මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වල ද මිලිමීටර 100 ඉක්මවූ තද වැසි" ඇති විය හැකි බව ය.

මේ අතර, ගත වූ පැය 24ක කාලය තුළ වැඩි ම වර්ෂාපතනය වූ මිලිමීටර 109ක් කුරුණෑගලින් වාර්තා වී තිබේ.

මීට අමතරව, මහනුවර, නුවරඑළිය, බදුල්ල, ගාල්ල, කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවලට අධික වැසි ඇති විය හැකි බවට අපේක්ෂා කෙරේ.

Meteorology Department - Sri Lanka

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේ, අධික වැසි සහ ජල ගැලීම්වලින් ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 700ක් පමණ මේ වන විට විපතට පත්ව සිටින බව

මහනුවර, බදුල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කවල අධික වැසි ඇති විය හැකි බැවින් නායයාම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.

උදම් රළ

ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ, පානදුර සිට අම්බලන්ගොඩ දක්වා මුහුදු තීරය ආශ්‍රිතව තද සුළං අපේක්ෂා කරන බැවින් උදම් රළ ඇති වීමේ අවදානමක් පවතින බව ය. එහෙයින්, ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන්නන් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ඔහු පැවසීය.

අකුණු

මෙම අයහපත් කාලගුණය පවතින අවස්ථාවල අකුණු අනතුරු බහුල විය හැකි බැවින් සුපරික්ෂාකාරීව කටයුතු කරන ලෙස ද ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

එම මධ්‍යස්ථානය නිවේදනය කළේ, අධික වැසි පවතින අවස්ථාවල ගෘහස්ත විදුලි පරිපථ විසන්ධි කළ යුතු අතර, නිරාවරණ ස්ථානවල රැඳී සිටීම ද නොකළ යුතු බව ය.

යම් අනතුරක් හෝ අවදානමක් ඇත්නම් 117 දුරකතන අංකයට අමතා දැනුම් දෙන ලෙස ද ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් ඉල්ලා සිටී. ය.