එක් නඩුවකින් නාමල් ඇප මත මුදා හැරේ

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.

ඒ අනුව, සැකකාර නාමල් රාජපක්ෂ රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කළේ ය.

ඊට අමතරව, නාමල් රාජපක්ෂට විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ අතර, සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස නාමල් රාජපක්ෂට මහේස්ත්‍රාත්වරයා අවවාද කළේ ය.

ඉන් අනතුරුව මෙම නඩුකරය නොවැම්බර් 06 වන දා කැඳවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියම කර තිබේ.

ඇප මත මුදා හැරීමට සලකා බැලූ කරුණු

නාමල් රාජපක්ෂගේ මව සහ පියා දැඩි ලෙස අසනීප තත්ත්වයකින් පසු වන බැවින් එය සුවිශේෂී කරුණක් සේ සලකා ඔහු ඇප මත මුදා හරින ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි ඇතුළු නීතිඥවරුන් ඉකුත් දා අධිකරණය හමුවේ ඇප ඉල්ලීමක් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබිණි.

එහෙත්, එම ඉල්ලීමට අල්ලස් කොමිසම එදින විරෝධය පළ කළේ ය.

කෙසේ වෙතත්, දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය අද (නොවැ: 03) ප්‍රකාශයට පත් කරමින් මෙසේ පැවසීය.

"දූෂණ විරෝධී පනතේ 149 (1) වගන්තිය ප්‍රකාරව සැකකරුවෙකු ඇප මත මුදා හැරීම සදහා සුවිශේෂී කරුණු ඉදිරිපත් කළ යුතු යි. ඒ අනුව මෙම සැකකරු වෙනුවෙන් ඇප ඉල්ලීම සදහා ඉදිරිපත් කළ කරුණු සුවිශේෂී කරුණු ලෙස අධිකරණය පිළිගනු ලබනවා," යනුවෙන් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා ඒ අනුව සැකකාර නාමල් රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙසත් නියම කළේ ය.

කෙසේ වෙතත්, සැකකාර නාමල් රාජපක්ෂ ලබන 19 වන දා බන්ධනාගාරය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කර ඇති හෙයින්, ඔහු බන්ධනාගාර නිලධාරීන් විසින් යළි බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබී ය.

කොළඹ , ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ පිහිටි ඉඩමක් ඉන්දියානු ක්‍රිෂ් සමාගමට බහු කාර්ය ව්‍යාපෘතියක් සඳහා ලබාදීමේ කටයුතු ඉටු කර දීම සඳහා රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා ගත් බවට සැකපිට නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත් කර තිබිණි.