'පීඩන අවපාතය ශ්‍රී ලංකාවෙන් ඉවතට: අදත් ප්‍රදේශ රැසකට මහ වැසි'

Published

පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ පැවති අධික වැසි සහිත කාලගුණයට හේතු වූ ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය මේ වන විට දිවයිනෙන් ඉවතට ගමන් කරමින් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඒ අනුව, ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාව තුළ පවතින අධික වැසි සහිත කාලගුණය ක්‍රමයෙන් අඩු වනු ඇති බව ය.

කෙසේ වෙතත්, සඳුදා (ඔක් 08) දිනයේ ත් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

"එලෙස තද වැසි ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනුමාන කරනුයේ, දකුණ, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර යන පළාත් තුළ ය. සෙසු ප්‍රදේශවලට ද වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි ය."

බදුල්ල, කළුතර, ගාල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් නිකුත්කර තිබෙන නාය යාමේ අවදානම් නිවේදනය තවමත් වලංගු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

හලාවත කොළමුණුඔයේ පැති බැම්ම කැඩීයාමේ අවදානම ද තවමත් මුළුමනින් පහව ගොස් නොමැති අතර, යම් හෙයකින් කැඩී ගියහොත් හලාවත නගරයම ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාර අනතුරු ඇඟවීය.

බැම්ම කැඩී යාමට ආසන්න බව වාර්තා වීමත් සමග ශ්‍රී ලංකා යුද හමුදාව, පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය තවත් රාජ්‍ය ආයතන කීපයක් සමග එක්ව වැලි කොට්ට ගසා එය ප්‍රතිසංස්කරණය කළ නමුත් අධික ජල පහර හේතුවෙන් එය නැවතත් කැඩි යාමේ අවදානමක් මතු වී තිබේ.

බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම සඳුදා පෙරවරුවේ නැවතත් ආරම්භ කෙරිණ.

ඉන්දියාවේ තත්ත්වය

මේ අතර, ගිනිකොණ දිග බෙංගාල බොක්ක හා උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත කලාපයේ මේ වන විට අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත්තේ, සඳුදා දිනයේ උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ ධීවර කටයුතු සඳහා පිටත්ව නොයන ලෙස ය.

මේ වන විට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත යාත්‍රාවලට ආපසු පැමිණෙන ලෙස ද ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

පුද්ගල මරණ

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසක පසුගිය දින කිහිපය තුළ පැවති අධික වර්ෂාවත් සමග ඇති වූ ආපදා හේතුවෙන් පුද්ගල මරණ 4ක් වාර්තා වී තිබේ.

කළුතර දිස්ත්‍රික්කයෙන් පුද්ගල මරණ 3 ක් වාර්තා වී ඇති අතර එක් පුද්ගල මරණයක් ගාල්ලෙන් වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා පොලිස් මහජන සම්බන්ධතා ඒකකය බීබීසී සිංහල සේවයට පැවසීය.

ගාල්ල දිස්ත්‍රික්කයට ඉකුත් දෙදින තුල ඇද හැළුණ ධාරාණිපාත වර්ෂාවෙන් පවුල් 2636 ක සාමාජිකයින් 9987ක් පීඩාවට පත්ව ඇතැයි මේ අතර ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

දිස්ත්‍රික්කයේ නිවාස11 ක් පූර්ණ හානියට පත්ව ඇති අතර නිවාස 382 ක් සහ ව්‍යාපාරික ස්ථාන 82ක් අර්ධ හානියට පත්ව තිබේ.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පැවසුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට පිසූ ආහාර සහ වියලි සලාක දිම ආරම්භ කර ඇති බවය.

ජලයෙන් යටවී තිබූ මාර්ග කිහිපයක ජලය බැසගොස් තිබූ නමුත් ඉදිරි දිනවල ධාරාණිපාත වැසි ඇතිවි හදිසි ගංවතුර තත්වයක් ඇති විය හැකි අවදානම් ප්‍රදේශවල බෝට්ටු 23ක් සහ අඟුල් 9ක් ස්ථාපිත කර ඇතැයි ද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

මේ අතර, ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි බීබීසී සිංහල සේවයට පැවසුවේ, මෙතෙක් වාර්තා වූ පුද්ගල මරණ ස්වාභාවික විපත් හේතුවෙන් සිදුව ඇති මරණ නොවන බව ය.

වැසි සහිත කාලගුණය පැවතිය දී සිදුවූ විවිධ අනතුරුවලින් එම මරණ සිදුව ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.

ඊට අමතරව, ජල ගැලීම් හේතුවෙන් මේ වන විට කිසිදු පුද්ගලයෙකු අවතැන් වී නැති බව ද ඔහු පැවසීය.